ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, රුමේනියාව
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ருமேனியா
Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Romania

නිතර අසනු ලබන ප්‍රශ්න
තානාපති කාර්යාලයේ වැඩ කරන දිනයන් හා වේලාවන් මොනවාද?
තානාපති කාර්යාලය විවෘතව ඇති දිනයන් හා වේලාවන් සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9.00 සිට සවස 5.00 දක්වා වේ. මීට අමතරව සතියේ දිනවල සේවාවන් සඳහා තානාපති කාර්යාලයට පැමිණිය නොහැකි අයගේ පහසුව පිණිස මසකට එක් සති අග දිනක සේවාවන් සපයන අතර එම දිනය කවදාද යන්න අපගේ වෙබ් අඩවිය හා මුහුණු පොත හරහා නිවේදනය කරනු ලැබේ. මේ කාලය තුල ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීම සතියේ දින පහේම උදේ 9.00 සිට 11.00 දක්වා වන අතර ලිපි ලේඛන සත්‍යාපනය, පොලිස් සහතික සහ දිවුරුම් පෙත්සම් සහතික කිරීම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල උදේ 11.00 සිට දහවල් 1.00 දක්වා වේ. උපත් ලියාපදිංචි කිරීම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා උදේ 11.00 සිට දහවල් 1.00 දක්වා වේ. රැකියා ඇණවුම් සහතික කිරීම සහ රැකියා සම්බන්ධ ගැටළු පිළිබඳව පැමිණිලි භාර ගැනීම දිනපතා දහවල් 2.30 සිට 3.30 දක්වා වේ. අනිකුත් සේවා සඳහා දැනට කල් ඇතිව කාලය වෙන්කරවා ගැනීම අවශ්‍ය නැත.
මෙම දිනයන්හි දක්වා ඇති එක් එක් සේවාවන් ලබා ගැනීම සඳහා කරුණාකර අපගේ වෙබ් අඩවියේ https://www.emb-bucharest.gov.lk/si/appointment සබැඳිය වෙත පිවිස වෙලාවක් වෙන් කරවා ගන්න.
තානාපති කාර්යාලයට ලැබී ඇති ගමන් බලපත්‍ර හා රියදුරු බලපත්‍ර ලබා ගැනීමට සතියේ වැඩ කරන දිනවල පස්වරු 1.30ත් 3.00ත් අතර පැමිණෙන්න. මෙම සබැඳියේ ඇති අපගේ වෙබ් අඩවියේ දැන්වීම් පිටුව හරහා අප වෙත ලැබී ඇති විදේශ ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර පිළිබඳව අපි දැනුම් දෙන්නෙමු.
මට අවශ්‍ය තොරතුරක් දුරකථන මාර්ගයෙන් ලබා ගත හැකිද?
අපගේ තානාපති කාර්යාලයට දෛනිකව ඉතා විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන අතර ඒවායින් බොහොමයක් සේවාවන් සඳහා අවශ්‍ය අයදුම්පත් පිලිබඳවද අයදුම් පත් සමග ලබාදිය යුතු අනිකුත් ලිපිලේඛන පිලිබඳවද, සේවාවන් සඳහා අයකෙරෙන ගාස්තු පිළිබඳවද කෙරෙන විමසීම් වේ. අපගේ සීමිත කාර්ය මණ්ඩලය තානාපති කාර්යාලයට දෛනිකව පැමිණෙන විශාල පිරිසකට කොන්සියුලර් සේවාවන් සපයන අතරේ දුරකථන විමසීම් වලටද පිළිතුරු සැපයීම ඉතා අසීරුය. එබැවින් අපගේ වෙබ් අඩවියේ භාෂා තුනෙන්ම මෙම විමසීම් වලින් කෙරෙන බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බැවින් මුලින් ඒ තොරතුරු කියවා එයට වැඩිමනත් යමක් දැනගන්නට ඇත්නම් පමණක් දුරකතනයෙන් අප අමතන ලෙස හෝ consular.bucharest@mfa.gov.lk ඊමේල් ලිපිනයෙන් විමසීමක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. එසේම අපගෙන් සැපයෙන සේවා වලට අදාළ කරුණු ගැන විමසීමට මෙම ඊමේල් ලිපිනය පමණක් භාවිතා කරන මෙන් ඉල්ලමු.
ඔබට අපට දුරකතනයෙන් අමතන්නට අවශ්‍ය නම් ගමන් බලපත්‍ර පිලිබඳ විමසීම් සඳහා සතියේ දිනවල උදේ 9.00-10.00 අතරත්, අනිකුත් කරුණු ගැන විමසීම් සඳහා දහවල් 3.30-4.30 අතරත් පමණක් අප අමතන මෙන් ඉල්ලා සිටිමු.
කොන්සියුලර් සේවා සඳහා මට කල් ඇතිව කාලය වෙන් කරගත හැක්කේ කෙසේද?
https://emb-bucharest.gov.lk/si/appointment සබැඳියට පිවිස ඔබට අවශ්‍ය සේවාව තෝරා ගෙන ඔබගේ නම හා අනිකුත් තොරතුරු ඇතුලත් කර කාලය වෙන් කරගත හැක.
මට දුරකථනයෙන් කොන්සියුලර් සේවා සඳහා කල් ඇතිව කාලය වෙන්කරවා ගත හැකිද?
නොහැක, කාලය වෙන් කළ හැක්කේ අප තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව පමණි.
කොන්සියුලර් සේවා සඳහා කලින් කාලය වෙන් කරගැනීම අවශ්‍යමද ?
ඔව්, ඔබට වඩා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහාත් නිශ්චිත දිනයකදී සේවාව ලබාගැනීමට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව නිර්ණය කරගෙන ඒ අනුව සැලසුම් කිරීම සඳහාත් කොන්සියුලර් සේවා සඳහා අනිවාර්යයෙන්ම කල් ඇතිව කාලය වෙන් කර ගෙන තානාපති කාර්යාලයට පැමිණෙන මෙන් අපි ඔබෙන් ඉල්ලමු. ඔබ කල් ඇතිව කාලය වෙන් කර නොගෙන තානාපති කාර්යාලයට පැමිණියහොත් ඔබට සේවය සැපයීමට සිදුවන්නේ කාලය වෙන් කරගෙන පැමිණෙන අයදුම්කරුවන් සියලු දෙනාට සේවය සැපයීමෙන් පසුව කාලය ඉතිරිව තිබුණහොත් බව ඔබට දැන්වීමට කැමැත්තෙමු. එසේම, කාලය වෙන් කර නොගෙන පැමිණෙන්නන්හට සේවය ලබා දීමට පෙර https://emb-bucharest.gov.lk/si/appointment සබැඳිය හරහා හෝ තානාපති කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇති QR කේතයක් මාර්ගයෙන් හෝ ඒ අවස්ථාවේදීම ඔබේ ජංගම දුරකථනය හරහා කාලය වෙන් කරගැනීමට කටයුතු කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමට අපට සිදුවනු ඇත. එම නිසා කල් ඇතිව කාලය වෙන් කරගෙන පැමිණීම ඔබටත් අපටත් පහසුවක් වනු ඇත.
මා කාලය වෙන් කරවා ගත් දිනයේ එම වේලාවට මට තානාපති කාර්යාලයට පැමිණිය නොහැක. මා කළ යුත්තේ කුමක්ද?
නියමිත දිනයේදී ඔබට තානාපති කාර්යාලයට පැමිණීමට නොහැකි නම්, ඔබ එම කාලය වෙන් කරවා ගැනීම අවලංගු කර වෙනත් දිනයක් සඳහා කාලය වෙන්කරවා ගත යුතුය.
මට/මගේ පවුලේ අයට එකම සේවාව/විවිධ සේවාවන් සඳහා අයදුම්පත් එකකට වඩා භාර දිය යුතුව ඇත. එකම/විවිධ සේවාවන් සඳහා අයදුම්පත් කිහිපයක් භාර දීමට එක් කාලයක් වෙන් කරවා ගැනීම ප්‍රමාණවත්ද?
නැත, එකම සේවාවක් සඳහාද නැතහොත් විවිධ සේවාවන් සඳහාද යන්න නොසලකා, එක් එක් අයදුම්පත සඳහා වෙන වෙනම කාලය වෙන් කරවා ගන්න.
මට/මගේ පවුලේ අයට එකම සේවාව/විවිධ සේවාවන් සඳහා කාල වේලාවන් කීපයක් වෙන් කර ගැනීමට අවශ්‍යය. කෙසේ වෙතත්, සියලුම හමුවීම් එකට/එකම දිනයේ සිදු කිරීමට කාල වේලාවන් ඉතිරිව නොමැත. මා කළ යුත්තේ කුමක්ද?
කරුණාකර එක් එක් අයදුම්පත/සේවාව සඳහා හැකි අයුරින් වෙන වෙනම කාල වේලාවන් වෙන් කරවා ගන්න. කෙසේ වෙතත් අපි ඔබගේ සියලුම අයදුම්පත් එකම දිනයක එකම වෙලාවක, එනම් ඔබ වෙන් කරවා ගත් මුල්ම දිනයේ භාර ගැනීමට කටයුතු කරන්නෙමු.
ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම
ගමන් බලපත්‍ර අයදුම්පත්‍රයක් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද?
ඔබ වසර 10ක වලංගු කාලය අවසන් වීමෙන් පසුව හෝ දැනට ඇති ගමන් බලපත්‍රයේ වීසා පිටු අවසන් වීම නිසා නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම් හෝ නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවට නව ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම් හෝ ඔබේ වත්මන් ගමන් බලපත්‍රයට සංශෝධනයක් කිරීමට අයදුම් කරන්නේ නම් හෝ හදිසි ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම් හෝ අවශ්‍ය ලියකියවිලි පිළිබඳ තොරතුරු මෙතැනින් ලබා ගත හැකිය.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ගමන් බලපත්‍ර අයදුම්පත පිරවීම සඳහා උපදෙස් අපගේ වෙබ් අඩවියේ බාගැනීම් පිටුවෙන් ලබා ගත හැකිය.
විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට කොපමණ කාලයක් ගතවේද?
වසර 10ක වලංගු කාලයකින් පසු කල් ඉකුත් වීමට නියමිත/දැනටමත් කල් ඉකුත් වී ඇති සහ නැති වූ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර වෙනුවට නව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර (හදිසි ගමන් බලපත්‍ර හැර) ශ්‍රී ලංකාවේ බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබේ. මෙම කාණ්ඩවල විදේශ ගමන් බලපත්‍ර සඳහා තානාපති කාර්යාලයෙන් ලැබෙන අයදුම්පත් ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යවනු ලැබේ. ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද නව විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට භාර දීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම තානාපති කාර්යාලයට ආපසු එවනු ලැබේ. මෙම ක්‍රියාවලියට සති 8 සිට 12 දක්වා හෝ ඊටත් වඩා කාලයක් ගතවේ. කෙසේ වෙතත්, නැතිවූ විදේශ ගමන් බලපත්‍රයක් වෙනුවට නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට මෙයටත් වඩා වැඩි කාලයක් ගතවනු ඇත.
මට හැකි ඉක්මනින් මගේ ගමන් බලපත්‍ර අයදුම්පත භාර දිය යුතුව ඇත. කෙසේ වෙතත්, මට අවශ්‍ය දිනයේ ඒ සඳහා කාලය වෙන්කිරීම් ඉතිරිව නොමැත. මා කළ යුත්තේ කුමක්ද?
කරුණාකර ඊළඟට ලබා ගත හැකි දිනයක කාලය වෙන්කරවා ගෙන එහෙත් ඔබට අවශ්‍ය දිනයට තානාපති කාර්යාලයට පැමිණෙන්න. ඔබට ඇත්ත වශයෙන්ම හැකි ඉක්මනින් අයදුම්පත භාර දීමට සැබෑ අවශ්‍යතාවක් වෙතොත් ඔබ කාලය වෙන් කරවා ගත් දිනට පෙර ඔබේ අයදුම්පත භාර ගැනීමට අපි කටයුතු කරන්නෙමු.
කෙසේ වෙතත්, අවසාන මොහොත එනතුරු බලා නොසිට අවශ්‍ය සේවාව සඳහා කල් ඇතිව අයදුම් කිරීම අයදුම්කරුවන්ගේ වගකීමක් බව කරුණාවෙන් සලකන්න.
මම බුකාරෙස්ට් සිට බොහෝ දුරින් ජීවත් වෙමි. තානාපති කාර්යාලයට නොපැමිණ මගේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත තානාපති කාර්යාලයට මාර්ගගතව ඉදිරිපත් කළ හැකිද?
දැනට මෙම පහසුකම අප තානාපති කාර්යාලයට ලබා දී නොමැත. කෙසේ වෙතත්, මෙම තානාපති කාර්යාලය ඇතුළුව විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 25 කට මාර්ගගත විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කෙරෙමින් පවතී. එම පහසුකම හඳුන්වා දුන් පසු අපි රුමේනියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඒ බව දැනුම් දෙන්නෙමු.
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මගේ නව විදේශ ගමන් බලපත්‍රය තානාපති කාර්යාලයට ලැබී ඇති බව මා දැන ගන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ලැබුණු විදේශ ගමන් බලපත්‍රවල යොමු අංක අපගේ වෙබ් අඩවියේ මෙම සබැඳියේ සහ අපගේ ෆේස්බුක් පිටුවේ පළ කරන්නෙමු. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ලැබී ඇත්දැයි බැලීමට කරුණාකර මෙම සබැඳි පරීක්ෂා කරන්න.
තානාපති කාර්යාලයට දුරකතනයෙන් අමතා මගේ නව විදේශ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවෙන් ලැබී ඇත්දැයි දැන ගැනීමට හැකිද ?
ඔබගේ අයදුම්පත්‍රයේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා අපට දුරකථන ඇමතුම් නොදෙන ලෙස අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තානාපති කාර්යාලයට නව විදේශ ගමන් බලපත්‍ර ලැබුණු විට, අපි අපගේ වෙබ් අඩවියේ සහ ෆේස්බුක් පිටුවේ අපට ලැබී ඇති ගමන් බලපත්‍ර වල යොමු අංක ප්‍රකාශයට පත් කරන්නෙමු.
මට ඉතා ඉක්මනින් මගේ ගමන් බලපත්‍රය අලුත් කරවා ගැනීමට අවශ්‍යය. අමතර ගාස්තුවක් ගෙවා තානාපති කාර්යාලයෙන් නව විදේශ ගමන් බලපත්‍රයක් ඉක්මනින් ලබා ගැනීමට කඩිනම් සේවාවක් තිබේද?
දැනට එවැනි කඩිනම් සේවාවක් ශ්‍රී ලංකාවෙන් පිටත ලබා ගත නොහැක. එක්දින සේවාව ලබා ගත හැක්කේ ශ්‍රී ලංකාව තුළ පමණි.
මගේ ගමන් බලපත්‍රය නැති විය. හදිසි ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද?
හදිසි ගමන් බලපත්‍රයක් යනු ශ්‍රී ලංකාවට ගමන් කිරීම සඳහා පමණක් වලංගු වන යන්ත්‍රයෙන් කියවිය නොහැකි A4 කඩදාසියක නිකුත් කරන ලියවිල්ලක් වන අතර එය ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව තානාපති කාර්යාලයේදී නිකුත් කරනු ලැබේ.
විදේශ ගමන් බලපත්‍රය නැති වූ අයෙකු අදාළ ලියකියවිලි සමඟ තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයට පැමිණිය යුතුය. අවශ්‍ය ලියකියවිලි පිළිබඳ විස්තර මෙතැනින් ලබා ගත හැකිය. හදිසි ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම සඳහා කාලය වෙන් කරවා ගැනීම අවශ්‍ය නොවේ.
හදිසි ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට කොපමණ කාලයක් ගතවේද?
තානාපති කාර්යාලයට අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු වැඩ කරන දින 5ක් ඇතුළත හදිසි ගමන් බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
මා සතුව ඇත්තේ මගේ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්/එහි ඉංග්‍රීසි පරිවර්තනය පමණි. එය විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සඳහා උප්පැන්න සහතිකයක් ලෙස පිළිගනු ලැබේද?
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව උප්පැන්න සහතිකවල පරිවර්තන හෝ ඡායා පිටපත් පිළිගන්නේ නැත. මුල් උප්පැන්න සහතිකය විදේශ ගමන් බලපත්‍ර අයදුම්පතකට අමුණා නොමැති නම්, එවැනි අයදුම්පත් මෙම තානාපති කාර්යාලය විසින් භාර ගනු නොලැබේ . තමන් සතුව උප්පැන්න සහතිකයක මුල් පිටපතක් නොමැති 1960ට පසුව ඉපදුන අයෙකුට අපගේ තානාපති කාර්යාලය හරහා නියමිත ගාස්තුව ගෙවා උප්පැන්න සහතිකයක් ලබා ගත හැකිය.
ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ ගාස්තුව කොපමණද?
ගමන් බලපත්‍ර අයදුම්පත් ගාස්තු එය ගමන් බලපත්‍ර අලුත් කිරීමක් ද, නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවට ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමක් ද යන කරුණු අනුව වෙනස් වේ. ගමන් බලපත්‍ර ගාස්තු පිළිබඳ තොරතුරු මෙතැනින් ලබා ගත හැකිය.
දරු උපත් ලියාපදිංචි කිරීම
දරු උපතක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි මොනවාද?
දරුවෙකුගේ උප්පැන්න සහතිකය සඳහා අයදුම් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි රඳා පවතින්නේ උපත ලියාපදිංචි කර ඇත්තේ උපතින් අවුරුද්දක කාලය ඇතුළතද, නැතහොත් උපතින් වසර 1කට පසුවද යන්න මතය. වැඩි විස්තර සඳහා කරුණාකර මේ සබැඳියට පිවිසෙන්න.
උප්පැන්න සහතිකයක් සඳහා අයදුම් කිරීමේ ගාස්තුව කොපමණද?
උප්පැන්න සහතිකයක් සඳහා අයදුම් කිරීමේ ගාස්තු පිළිබඳ තොරතුරු මෙතැනින් ලබා ගත හැකිය.
උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට කොපමණ කාලයක් ගතවේද?
උපතින් මාස 12ක් ඇතුළත දරුවෙකුගේ උපතක් ලියාපදිංචි කරන්නේ නම්, සති 2ක් ඇතුළත උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබේ. කෙසේ වෙතත්, උපතින් වසර 1කට පසු දරුවෙකුගේ උපත ලියාපදිංචි කරන්නේ නම්, උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ. එවැනි අවස්ථාවකදී, අයදුම්පත අනුමැතිය සඳහා බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබේ.
දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් සඳහා අයදුම්පතක් තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ හැක්කේ කාටද?
අයදුම්පත අත්සන් කර ඇත්තේ මව නම් ඇයද, අත්සන් කර ඇත්තේ පියා නම් ඔහුද එය ඉදිරිපත් කළ යුතුය.
දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීම සඳහා මව්පියන් දෙදෙනාම තානාපති කාර්යාලයට පැමිණිය යුතුද?
නැත, ඉහත සඳහන් කළ පරිදි, අයදුම්පත අත්සන් කළ කෙනා පමණක් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා තානාපති කාර්යාලයට පැමිණීම ප්‍රමාණවත් වේ.
දරු උපතක් ලියාපදිංචි කිරීම සඳහා දරුවාද තානාපති කාර්යාලයට කැටිව ආ යුතුද?
නැත, දරුවා තානාපති කාර්යාලයට කැටිව ඒම අවශ්‍ය නැත.
රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම
බාගත කරන ලද MTA 30/2 අයදුම්පත රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා භාවිතා කළ හැකිද ?
නොහැකිය, රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා වන MTA 30/2 අයදුම්පත මුද්‍රණය කර ඇත්තේ වෙනස් ප්‍රමාණයේ කඩදාසියක බැවින් එහි මුද්‍රිත පිටපතක් තානාපති කාර්යාලයෙන් ලබා ගත යුතුය. එහි පිටපතක් බාගත කිරීම සඳහා ලබාදී ඇත්තේ අයදුම්කරුවන්ට එය ආදර්ශකයක් ලෙස භාවිතා කිරීම සඳහාය.
රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යද?
ඔව්, වෛද්‍ය සහතිකයක් අමුණා නොමැති නම් එවැනි අයදුම්පත් අප විසින් භාර ගනු නොලැබේ.
රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා වන අයදුම්පත් සමග අනිවාර්යයෙන් කළු සුදු ඡායාරූප ඉදිරිපත් කළ යුතුද?
ඔව්, මේ සඳහා කළු සුදු ඡායාරූප පමණක් භාර ගනු ලැබේ.
ශ්‍රී ලංකාවෙන් නිකුත් කළ මගේ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයේ වසරක වලංගු කාලය ඉක්මවූ පසු තානාපති කාර්යාලය හරහා එය අලුත් කරවා ගැනීමට හැකිද?
නොහැකිය, ශ්‍රී ලංකා රියදුරු බලපත් ජාත්‍යන්තර බලපත් බවට පරිවර්තනය කිරීමත්, ඒවා අලුත් කර ගැනීමත් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය හරහා ඔබ විසින් සිදු කර ගත යුතුය.
සේවා සඳහා තානාපති කාර්යාලයට මුදල් ගෙවීම
සේවා සඳහා තානාපති කාර්යාලයට මුදල් ගෙවිය හැක්කේ කෙසේද?
සේවා සඳහා ගාස්තු අයදුම්පත භාර දෙන අවස්ථාවේ මුදලින් තානාපති කාර්යාලයට හෝ තානාපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ගෙවිය හැකිය. ඒ සඳහා රිසිට් පතක් නිකුත් කරන අතර එය ප්‍රවේසම් කර තබා ගත යුතුය. තානාපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ගෙවීම් කරන්නේ නම් අදාළ සේවාව ලබා ගැනීමට තානාපති කාර්යාලයට පැමිණීමට අඩුම වශයෙන් දිනකට වත් පෙර ගෙවීම කළ යුතු අතර ගෙවන්නාගේ නම යොමු අංකය වශයෙන් (Reference) සඳහන් කළ යුතුය.
තානාපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ගෙවීම් කළ හැක්කේ කෙසේද ?
කරුණාකර ඔබගේ ගෙවීම තානාපති කාර්යාලයේ පහත නිල බැංකු ගිණුමට බැර කරන්න.
Bank Name - BRD Groupe Societe Generale
Branch Name - ag. Londra - Charles De Gaule
Account Name - Ambasada Republicii Democratice Socialiste Sri Lanka
Account No - RO23 BRDE 445S V224 1930 4450
Currency of Account - RON
SWIFT Code - BRDEROBU
තානාපති කාර්යාලයට ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පත් මගින් ගෙවීම් කළ හැකිද?
තානාපති කාර්යාලයට ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පත් මගින් ගෙවීමේ පහසුකම දැනට නොමැත. එම නිසා ඔබ සේවා ගාස්තු අපගේ නිල බැංකු ගිණුමට ගෙවා නැත්නම්, ගාස්තු සඳහා ප්‍රමාණවත් මුදලක් තානාපති කාර්යාලයේදී ගෙවීම සඳහා රැගෙන ඒමට වගබලාගන්නා මෙන් ඉල්ලමු. ඔබ ගාස්තුව මුදලින් රැගෙන නොආවොත් මුදල් ලබා ගැනීමට ඒටීඑම් යන්ත්‍රයක් තානාපති කාර්යාලය ආසන්නයේ ඇත.
ඡායා පිටපත් පහසුකම
ගාස්තුවක් ගෙවා තානාපති කාර්යාලයෙන් ඡායා පිටපත් ලබා ගත හැකිද?
තානාපති කාර්යාලයේ එවැනි පහසුකමක් නොමැත. තානාපති කාර්යාලයට නුදුරින් අයදුම්කරුවන්ට ඡායා පිටපත් ලබා ගත හැකි ස්ථාන ඇත .