ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, රුමේනියාව

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ருமேனியா

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Romania

Embassy Flag

උපත් ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවූ උපත් ලියාපදිංචි කිරීම පිළිබඳ තොරතුරු

ශ්‍රී ලංකාවෙන් පිටත උපත් ලියාපදිංචි කිරීම

දරුවාගේ උපත සිදුවන අවස්ථාවේ මව්පියන් දෙදෙනාම හෝ දෙමව්පියන්ගෙන් එක් අයෙකු ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන රුමේනියාවේ උපත ලැබූ දරුවෙකුගේ උපත ශ්‍රී ලංකා පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි කළ හැකිය. එවැනි ලියාපදිංචියකදී දරුවකුට කොන්සියුලර් උප්පැන්න සහතිකය නමින් හැඳින්වෙන උප්පැන්න සහතිකයක් ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබේ. (අයදුම්පත්‍රය මෙතනින් බාගත කරන්න). සාමාන්‍යයෙන් එවැනි දරුවෙකුගේ උපතක් වසරක් ඇතුළත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුය. ඉපදී වසරක් ඇතුලත උපත ලියාපදිංචි කරන දරුවකුගේ කොන්සියුලර් උප්පැන්න සහතිකය තානාපති කාර්යාලය විසින් සති දෙකක් ඇතුලත නිකුත් කරනු ලැබේ.  කෙසේ වෙතත්, උපතින් වසරකට පසු දරුවෙකුගේ උපත ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ සඳහා හේතු දක්වන ලිපියක් මව්පියන් දෙදෙනාම අත්සන් කර ඉදිරිපත් කළ යුතුය. (ලිපියේ ආකෘති පත්‍රය මෙතනින් බාගත කරන්න). එසේම, තානාපති කාර්යාලය එවැනි ලියාපදිංචි කිරීමක් සඳහා බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය. මෙම අවස්ථාවේ දී, අයදුම්පත අනුමැතිය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට යවනු ලබන අතර එම නිසා වසරකට වඩා වැඩි කාලයකට පෙර උපත ලැබූ දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට වැඩි කාලයක් ගතවේ. වසරක් ඇතුලත ලියාපංචි කෙරෙන උපතකදී කොන්සියුලර් උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමේ ගාස්තුව රුමේනියානු ලේ 175කි. වසරකට වඩා ප්‍රමාද වූ දරු උපතකදී කොන්සියුලර් උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමේදී ප්‍රමාද වූ සෑම වසරක් සඳහාම ඇමෙරිකානු ඩොලර් 10ක අමතර ගාස්තුවක් අය කෙරෙන අතර එම මුදල රුමේනියානු ලේ වලින් ගෙවිය හැකිය.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ දරුවකුගේ උපත ලියාපදිංචි කරන අවස්ථාවේම ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකයක් සඳහාද ඉල්ලුම් කළ යුතුය. (අයදුම්පත්‍රය මෙතනින් බාගත කරන්න).  ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය සඳහා ඔබ භාර දෙන අයදුම්පත ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට අප විසින් යැවෙන අතර පුරවැසි අංශය විසින් නිකුත් කරන සහතිකය මෙම තානාපති කාර්යාලයට අයදුම්කරුවන්ට භාර දීම පිණිස එවනු ලැබේ. ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකයක් නිකුත් කිරීමේ ගාස්තුව රුමේනියානු ලේ 85කි.   

තානාපති කාර්යාලයේ දරුවෙකුගේ උපතක් ලියාපදිංචි කිරීමේදී, තානාපති කාර්යාලයට කිහිප වතාවක් පැමිණීමට වැයවන කාලය ඉතිරි කර ගැනීමට හැකි වන පරිදි, ඒ සමඟම දරුවාට විදේශ ගමන් බලපත්‍රයක් සඳහාද අයදුම් කරන ලෙස අපි දෙමාපියන්ට උපදෙස් දෙමු. (අයදුම්පත්‍රය මෙතනින් බාගත කරන්න). ඒ අනුව, දරුවෙකුගේ උපතක් ලියාපදිංචි කිරීමේදී, ලේඛන 3 ක් ලබා ගැනීම සඳහා ඔබට අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. එනම්, අනිවාර්යයෙන් අයදුම් කළ යුතු සහතික වන කොන්සියුලර් උප්පැන්න සහතිකය සඳහා අයදුම්පත හා ශ්‍රී ලංකා පුරවැසි සහතිකය සඳහා අයදුම්පත, සහ ඔබේ කැමැත්ත අනුව විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත යන මේවායි. කෙසේ වෙතත් දරුවකුගේ ගමන් බලපත්‍රයක් සඳහා කැමති නම් පසුව අවස්ථාවක ඔබට අයදුම් කළ හැකිය. දරුවකුගේ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී අවශ්‍යවන ලිපි ලේඛන සහ අනිකුත් විස්තර මෙම පිටුවේ යට කොටසේ සඳහන් කර ඇත.

අයදුම්කරු (දරුවාගේ මව හෝ පියා) දරුවාගේ උපත ලියාපදිංචි කිරීම සඳහා කොන්සියුලර් උප්පැන්න සහතිකය සඳහා අයදුම්පතද, ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය සඳහා අයදුම්පතද,  ඉංග්‍රීසි කැපිටල් අකුරින් පුරවා පහත සඳහන් ලේඛන සමඟ තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය. අයදුම්කරු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ අයදුම්පත සහ ප්‍රකාශය අත්සන් කළ යුතුය.

උපතක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි

පහත සඳහන් ලියකියවිලි වල මුල් පිටපත් ඒවායේ ඡායා පිටපත් කට්ටල දෙකක් සමඟ ඉදිරිපත් කළ යුතුය. පරීක්ෂා කිරීමෙන් පසු මුල් පිටපත් නැවත ඔබට භාර දෙනු ලැබේ.

1. දරුවාගේ රුමේනියානු උප්පැන්න සහතිකයේ මුල් පිටපත.එය රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය විසින් සහතික  කර තිබිය යුතුය.   

2. පියාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත

3. මවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත

4. දෙමාපියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත (ඔවුන් විවාහක නම්)

5. දරුවා ඉපදුණු අවස්ථාවේ පියාගේ සහ මවගේ ගමන් බලපත්‍රවල පහත සඳහන් පිටු

     - දත්ත පිටුව (ඡායාරූප පිටුව) ඇතුළුව පිටු අංක 1 සිට 9 දක්වා පිටු සහ රුමේනියානු වීසාව ඇති පිටුව

6. පියාගේ සහ මවගේ වත්මන් ගමන් බලපත්‍රවල පහත සඳහන් පිටු (දරුවාගේ උපත සිදු වූ දිනට පසු ඔවුන් නව ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ නම් පමණක්)

     -  දත්ත පිටුව (ඡායාරූප පිටුව) ඇතුළුව පිටු අංක 1 සිට 9 දක්වා පිටු

7. දෙමව්පියන්ගේ රුමේනියාවේ තාවකාලික නේවාසික වීසා කාඩ්පත් (TRC)

8.  දෙමව්පියන්ගේ ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් වල ඡායා පිටපත්

ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද උප්පැන්න සහතික/විවාහ සහතික වල මුල් පිටපත් ලෙස ඒවායේ ඉංග්‍රීසි පරිවර්තන පිළිගනු නොලැබේ.  සහතික කරන ලද උප්පැන්න හා විවාහ සහතික ඒ සඳහා වූ ගාස්තුව ගෙවීමෙන් පසු මෙම තානාපති කාර්යාලයෙන් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාව හැර වෙනත් රටක් විසින් නිකුත් කර ඇති සහතික/ලේඛන ඉදිරිපත් කරන්නේ නම්, රුමේනියාවේ පිහිටි අදාළ රටේ තානාපති කාර්යාලය විසින් හෝ මුල් සහතිකය නිකුත් කළ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහතික කරන ලද මුල් සහතිකය හෝ මුල් සහතිකය ඉංග්‍රීසියෙන් නොමැති නම් එහි ඉංග්‍රීසි පරිවර්තනය සමඟ ඉදිරිපත් කළ යුතුය. උදාහරණයක් ලෙස යම් ලියවිල්ලක් නිකුත් කර ඇත්තේ ඉතාලි රජය විසින් නම් එවැනි ලියවිල්ලක් එහි ඉංග්‍රීසි පරිවර්තනය සමග රුමේනියාවේ ඇති ඉතාලි තානාපති කාර්යාලය/කොන්සල් ජනරාල් කාර්යාල විසින් හෝ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය/මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සහතික කර තිබිය යුතුය.

අයදුම්කරු (දරුවාගේ මව හෝ පියා) පෞද්ගලිකව ලේඛන ඉදිරිපත් කළ යුතු අතර අවශ්‍ය වුවහොත් තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දිය යුතුය.

අයදුම්පත භාර දීමට මව හෝ පියාගෙන් එක් අයෙක් පමණක් තානාපති කාර්යාලයට පැමිණීම ප්‍රමාණවත්ය. දරුවා කැටිව ඒම අවශ්‍ය නොවේ.

දරු උපත ලියාපදිංචි කරන්නට අයදුම් කරන්නේ උපතෙන් කොපමණ කාලයකට පසුවද සම්පුර්ණ කළ යුතු අයදුම්පත්‍රය/වෙනත් උපදෙස්
1උපතේ සිට වසරක් ඇතුළත දරුවෙකුගේ උපත ලියාපදිංචි කිරීම1. දරුවකුගේ කොන්සියුලර් උප්පැන්න සහතිකය සඳහා අයදුම්පත්‍රය
2. දරුවකුගේ පුරවැසි සහතිකය සඳහා අයදුම්පත්‍රය
2අයදුම් කරන දිනට වයස අවුරුදු 01 ට වැඩි දරුවෙකුගේ උපත ලියාපදිංචි කිරීමඉහත අංක 1 හා 2 දරන අයදුම්පත්වලට අමතරව ලියාපදිංචිය ප්‍රමාද වීමට හේතු පැහැදිලි කරන මෙම ආකෘතිය අනුව ලිපියක්
අයදුම්පත් ගාස්තුව රුමේනියානු ලේ 175 කි. උපත වසරකට පසුව ලියාපදිංචි කරන්නේ නම්, පමාවූ වසරකට ඇමරිකානු ඩොලර් 10 ක බැගින් අධිභාරයක් ගෙවිය යුතුයසේවා ගාස්තු මුදලින් අපගේ කවුන්ටරයෙදී හෝ අපගේ නිල බැංකු ගිණුමට ගෙවිය හැකිය. බැංකු ගිණුමේ විස්තර සේවා ගාස්තු මෙනුවෙන් ලබාගත හැක. ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම කළ නොහැක.

දරු උපත ලියාපදිංචි කරන අවස්ථාවේම දරුවාට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම් ඒ සඳහා වූ අයදුම්පත (අයදුම්පත්‍රය මෙතනින් බාගත කරන්න) පහත සඳහන් ලිපි ලේඛන වල මුල් පිටපත් හා ඡායා පිටපත් සමග ඉදිරිපත් කරන්න. පරීක්ෂා කිරීමෙන් පසු මුල් පිටපත් නැවත ඔබට භාර දෙනු ලැබේ.

1. දරුවාගේ රුමේනියානු උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපතක්.එය රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය විසින් සහතික කර තිබිය යුතුය.

2. දරුවාගේ පුරවැසි සහතිකය සඳහා තානාපති කාර්යාලයට මුදල් ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක්

3. දෙමාපියන්ගේ විවාහ සහතිකය (ඔවුන් විවාහක නම්) හා එහි ඡායා පිටපතක්

4. මවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපතක්

5. පියාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපතක්

6. දරුවාට ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මව්පියන් දෙදෙනාගේම කැමැත්ත පළ කරන ලිපියක්  (ආකෘතිය මෙතනින් බාගත කරන්න)

7. දරුවාගේ මව්පියන්ගෙන් ලිපි ලේඛන භාර දෙන තැනැත්තාගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය පිලිබඳ දිවුරුම් ප්‍රකාශය (ආකෘතිය මෙතනින් බාගත කරන්න)

8. පුද්ගලික තොරතුරු සපයන ආකෘති පත්‍රය (ආකෘතිය මෙතනින් බාගත කරන්න)

දරුවා ඉපදුණු අවස්ථාවේ පියාගේ සහ මවගේ ගමන් බලපත්‍රවල පහත සඳහන් පිටු

    - දත්ත පිටුව (ඡායාරූප පිටුව) ඇතුළුව පිටු අංක 1 සිට 9 දක්වා පිටු සහ රුමේනියානු වීසාව ඇති පිටුව

6. පියාගේ සහ මවගේ වත්මන් ගමන් බලපත්‍රවල පහත සඳහන් පිටු (දරුවාගේ උපත සිදු වූ දිනට පසු ඔවුන් නව ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ නම් පමණක්)

   - දත්ත පිටුව (ඡායාරූප පිටුව) ඇතුළුව පිටු අංක 1 සිට 9 දක්වා පිටු සහ රුමේනියානු වීසාව ඇති පිටුව

7. දෙමව්පියන්ගේ රුමේනියාවේ තාවකාලික නේවාසික වීසා කාඩ්පත් (TRC) හා ඡායා පිටපත්

8. දෙමව්පියන්ගේ ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් වල ඡායා පිටපත්

ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ගාස්තුව රුමේනියානු ලේ 730/= කි. 

වැඩිදුර තොරතුරු සඳහා ඔබට අපගේ නිතර අසනු ලබන ප්‍රශ්න පිටුවට පිවිසිය හැකිය. ඔබට මේ තොරතුරු වලට අමතරව තවත් යමක් දැනගත යුතුනම් හෝ අපැහැදිලි දෙයක් ඇතොත් consular.bucharest@mfa.gov.lk ඊමේල් ලිපිනය හරහා විමසීමක් කළ හැකිය.