නව විදේශ ගමන් බලපත්‍ර ලැබීම

අලුතින් නිකුත් කරන ලද ගමන් බලපත්‍ර විසි අටක්  (28) 2026 අගෝස්තු 13 දින තානාපති කාර්යාලයට ලැබී ඇත. ඒවායේ යොමු අංක සඳහා https://www.emb-bucharest.gov.lk/en/notices සබැඳියට පිවිසෙන්න.ඒවායේ හිමිකරුවන්ට සිය ගමන් බලපත්‍රය සතියේ වැඩ කරන දිනවල පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයෙන් ලබා ගත හැක.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, රුමේනියාව

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ருமேனியா

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Romania

Embassy Flag

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විවාහ ලියාපදිංචි කිරීම

රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා, විවාහයට සම්බන්ධ පාර්ශවයන්ගෙන් අවම වශයෙන් එක් අයෙකු ශ්‍රී ලාංකිකයකු විය යුතු අතර ශ්‍රී ලාංකික පාර්ශ්වයන්ගෙන් එක පාර්ශවයක් හෝ ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් තානාපති කාර්යාලයට විවාහ දැන්වීම භාර දිය යුතුය. (විවාහ දැන්වීම මෙතැනින් බාගත කරන්න). දෙපාර්ශවයම විවාහ දැන්වීම ලබා දෙන දිනට පෙර දින දහයක් (10) හෝ ඊට වැඩි කාලයක් රුමේනියාවේ ජීවත් වී තිබිය යුතුය. විවාහ දැන්වීමේ පෝරමය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ සම්පූර්ණ කළ යුතු අතර තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ ශ්‍රී ලාංකිකයන් විය යුතු සාක්ෂිකරුවන් දෙදෙනෙකු (02) විසින් අත්සන් කළ යුතුය. විවාහ දැන්වීමක් භාර දීමට ගාස්තුව රුමේනියානු ලී 140/= වේ.

විවාහ දැන්වීම භාර දීමෙන් පසු, විවාහය ලියාපදිංචි කිරීම වැඩ කරන දින දහහතරක් (14) සහ සහ මාස තුනක් (03) අතර කාලයේදී සිදු කළ හැකිය. විවාහ ලියාපදිංචි කිරීම සඳහා පාර්ශවයන් ප්‍රකාශයක් කළ යුතුය (ප්‍රකාශ පෝරමය   මෙතැනින්   බාගත කරන්න). විවාහ සහතිකයක් ලියාපදිංචි කිරීම සහ නිකුත් කිරීම සඳහා ගාස්තුව රුමේනියානු ලී 220/= වේ. විවාහ සහතිකය විවාහය ලියාපදිංචි කරන අවස්ථාවේදීම නිකුත් කරනු ලැබේ.

විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි/අවශ්‍යතා පහත දැක්වේ. සියලුම ලියකියවිලිවල ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය: -

දෙපාර්ශවයේම වලංගු විදේශ ගමන් බලපත්‍ර සහ දෙපාර්ශවයම ශ්‍රී ලාංකිකයන් නම් ඔවුන්ගේ වත්මන් රුමේනියානු වීසා. එක් පාර්ශ්වයක් රුමේනියානු නම්, ඔහුගේ/ඇයගේ විදේශ ගමන් බලපත්‍රය.

දෙපාර්ශවයම ශ්‍රී ලාංකිකයන් නම්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කරන ලද දෙපාර්ශවයේම උප්පැන්න සහතිකවල මුල් පිටපත්. එක් පාර්ශ්වයක් රුමේනියානු නම්, රුමේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් දෙපාර්තමේන්තුව විසින් සත්‍යාපනය කරන ලද ඔහුගේ/ඇයගේ උප්පැන්න සහතිකය. එක් පාර්ශවයක් ශ්‍රී ලාංකික හා අනික් පාර්ශ්වය රුමේනියානු නොවන වෙනත් විදේශිකයෙක් නම්, එම විදේශීය පාර්ශ්වයේ ගමන් බලපත්‍රය, රුමේනියානු වීසා බලපත්‍රය හා රුමේනියාවේ පිහිටි එම පාර්ශ්වය පුරවැසියකු වන රටෙහි තානාපති කාර්යාලය විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය.

සාක්ෂිකරුවන් ලෙස අත්සන් කරන අය රුමේනියාව සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍ර සහ වලංගු වීසා බලපත්‍ර සහිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (02) විය යුතුය. සාක්ෂිකරුවන් දෙපාර්ශවයම දන්නා අය විය යුතුය.

දෙපාර්ශවයම පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය

අ) පාර්ශවයන් තනිකඩ නම් - අවිවාහක සහතිකය

ආ) දික්කසාද වූවන් - දික්කසාද සහතිකය

ඇ) වැන්දඹුවක් නම්, මියගිය කලත්‍රයාගේ මරණ සහතිකය, පෙර විවාහ සහතිකය

අවිවාහක සහතිකය යනු විවාහයේ පාර්ශ්වකරුවන් කවරෙක්ද සහ ඔවුනගේ වර්තමාන අවිවාහක තත්ත්වය තහවුරු කිරීම සඳහා නීතිඥයෙකු විසින් අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයකි (ආකෘතිය මෙතැනින් බාගත කරන්න). මේ සඳහා විවාහයේ පාර්ශ්වකරුවන්ගේ මව්පියන් සිය පුත්‍රයා/දියණිය අවිවාහක බවට නීතිඥයකු විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. විවාහයේ පාර්ශ්වකරුවන්ගේ මව්පියන්ගෙන් එක් අයකු ජීවත්ව නොසිටීනම් මව්පියන්ගෙන් ජීවතුන් අතර සිටින කෙනා සහ මවුපියන් දෙදෙනාම ජීවතුන් අතර නැත්නම් වැඩිමල් සොහොයුරන්/සොහොයුරියන් විසින් මෙම දිවුරුම් ප්‍රකාශය ලබා දිය හැකිය. එම දිවුරුම් ප්‍රකාශය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සහතික කළ යුතුය.

ඊට අමතරව විවාහයේ පාර්ශ්වකරුවන් තමන් අවිවාහක බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය (ආකෘතිය මෙතැනින් බාගත කරන්න). එය රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු විසින් සහතික කරනු ඇත.

විවාහයේ පාර්ශ්වකරුවන්ගෙන් එක අයෙක් රුමේනියානු ජාතිකයෙක් නම් ඔවුන්ගේ අවිවාහක සහතිකය රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් දෙපාර්තමේන්තුව විසින් සත්‍යාපනය/සහතික කළ යුතු අතර ඉන් අනතුරුව රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සත්‍යාපනය/සහතික කළ යුතුය.

විවාහයේ එක් පාර්ශවයක් ශ්‍රී ලාංකික හා අනික් පාර්ශ්වය රුමේනියානු නොවන වෙනත් විදේශිකයෙක් නම්, එම විදේශීය පාර්ශ්වයේ අවිවාහක සහතිකය රුමේනියාවේ පිහිටි එම පාර්ශ්වය පුරවැසියකු වන රටෙහි තානාපති කාර්යාලය විසින් සහතික කළ යුතු අතර ඉන් අනතුරුව රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සත්‍යාපනය/සහතික කළ යුතුය.